ඇත්තම ඇත්තයි ආචාර්ය අදිකාරම්ගේ මරණය

ශ්‍රී ලංකාවේ පුරාණ පාරම්පරික දැනුම අනාගතයට රැගෙන යැමේ පරම පවිත්‍ර චේතනාවෙන් ක්‍රියා කළ මහැදුරු අදිකාරම් මැතිතුමාගේ දැවෙන සිරුරෙන් නික්‌මෙන දුම් වලාවන් ආදාහනාගාරයේ අහසට නැඟුණු කළුපාට බටයෙන් නිකුත් වෙමින් තිබිණි. අවමඟුලට සහභාගි වූ විශ්වවිද්‍යාල සිසුන්, ආචාර්යවරුන් ඇතුළු ප්‍රභූන් ද අදිකාරම් මැතිනිය ඇතුළු පවුලේ ඥාතීන් ද බිමට යොමාගත් දැසින් යුතුව ශෝක භරිතව තම වාහන කරා ගමන් කළෝය. මහාචාර්ය අදිකාරම් ගැන විශ්වවිද්‍යාලයේ සහෝදර ආචාර්යවරයකු කළ හැඳින්වීම මෙසේ විය. "එතුමා උගතෙක්‌ විතරක්‌ නොවේ. හැබෑම ආචාර්යවරයෙක්‌. ආචාර්ය උපාධිය අරගෙනත් අවුරුදු විස්‌සක්‌ විතර ඇති. ඒ වුණත් අපි අතරෙ හිටියෙ පොඩි ළමයෙක්‌ වගේ. හරිම නිහතමානියි. කෘෂිකර්මය ගැන ආචාර්යවරයෙක්‌ වුණත් එතුමා පරණ ගැමියන්ගෙන් ගොවිතැන ගැන දැනුම හොයාගෙන ගියා. පරණ කෙම් ක්‍රම, කාබනික පොහොර ගැන ලොකු උනන්දුවක්‌ තිබුණා. මට එතුමා මුලින්ම හමුවුණේ අවුරුදු තිහකට විතර ඉස්‌සර. මම හම්බ වුණ ගමන්ම කීවේ පළිබෝධ නාශක නිසා වන විනාශය ගැන. එතකොට මම ඇහුව ඇමරිකාවෙ එහෙමත් පළිබෝධ නාශක පාවිච්චි කරනව නේද කියලා. එතුමා කීව ඔව් ඔව් ඒ වුණත් අහවල් අහවල් ප්‍රාන්තවල දැනටමත් පස විනාශ වෙලා කියල. එතුමා බටහිරට ඔළුව නමන්නෙ නැතිව දේශීය ගොවිතැන් ක්‍රම දියුණු කරන හැටිමයි කල්පනා කළේ. විශ්වවිද්‍යාලෙ ළමයි එතුමට හරි ආදරෙයි. මානව හිතවාදී මහැදුරු අදිකාරම් පිළිබඳව එතුමාගේ බිරිඳ කතා කළේ දැඩි චිත්ත වේදනාවෙනි.

"අපි මුලින්ම හම්බ වුණේ විශ්වවිද්‍යාලෙදිමයි. එතුමා හැබෑටම මහත්මා ගති තිබුණ දයාබර සැමියෙක්‌. එතුමට ලබන සතියේ විදේශ විශ්වවිද්‍යාලයක දේශනයක්‌ කරන්න නියම වෙලා තිබුණා. ඒ ගමන යන්න සූදානම් වෙලා හිටියේ. එතුමට නිතර නිතර විදේශ ගමන් යන්න වෙනවා. ඒ වුණත් දැං අවුරුදු දෙකක විතර ඉඳලා ටික ටික අසනීප ගති තිබුණා. රට යන හැමදාම වගේ මාලිගාවට නැත්තං අනුරාධපුරේ ගිහිං මාත් එකක්‌ කිරි ආහාර පූජාවක්‌ කළා. එතුමා ජ්‍යෝතිෂ්‍යය හොඳට විශ්වාස කළා. තරමක ජ්‍යෝතිෂ්‍ය දැනුමකුත් තිබුණා. ඉතිං ඔය රට යන්න ඉස්‌සර කාර් එකක්‌ ගන්න සූදානමකුත් තිබුණා. ඔය වගේ වෙලාවට කේන්දරේ බලල නැකතකට වැඩ කරන පුරුද්දක්‌ තිබුණා. මහත්තයගෙ මාමා තමයි අර ජ්‍යෝතිෂ්‍ය කරන රණවීර මහත්තය. ඒ මාමගෙන් කේන්දරේ බලවගෙන ඇවිත් මට කීවා "මේ දවස්‌වල මට අපලයිලු. ඒක නිසා ප්‍රවේශම් වෙන්න කීවා. වාහන පදවන එකත් දුර බලල පරෙස්‌සමෙන් කරන්න කීව" කියල. "ඉතිං කාර් එක ගත්තෙ නැද්ද? කියල මම ඇහුව. එතකොට කිව්වා කාර් එක ගත්තට කමක්‌ නෑ හැබැයි වෙන ඩ්‍රැයිවර් කෙනෙක්‌ ලවා අරං එන්න කීව කියල. මේ දවස්‌වල වාහන එලවන එක හොඳ නෑ කියලත් කියල තියෙනවා." ඒ වුණත් ඔය දවසෙ නිල වාහනේ එළවගෙන විශ්වවිද්‍යාලෙට ගියෙ ඩ්‍රැයිවර් නැතුව මහත්තයමයි. තව දුරටත් කතා කිරීමට නොහැකිව අදිකාරම් මැතිනිය ඉකිබින්දාය. තම දියණිය හා බෑණා විසින් ඇය කැඳවාගෙන යනු දක්‌නට ලැබිණි.

මහැදුරු අදිකාරම් ගේ ජ්‍යෝතිෂ්‍ය දැනුම හා කේන්ද්‍රයේ තිබූ කරුණු ගැන සොයා බැලීම වැදගත් වෙයි. මෙම කේන්ද්‍රය බලා අපල කියන බව පැවසූ ජ්‍යෝතිෂශාස්‌ත්‍රඥ රණවීර මහතා කියන්නේ කුමක්‌ද? අපි ප්‍රශ්න කළෙමු. පරිනත වයෝවෘද්ධ ජ්‍යෝතිෂ්‍ය ශාස්‌ත්‍රඥයකු වූ එතුමා අදිකාරම් මහාචාර්යවරයාගේ මරණය ගැන කීවේ මෙසේය. "එයා මගේ නෑයෙක්‌. බොහෝම කාලෙක ඉඳලා කේන්දරේ බලනවා. මහාචාර්ය වුණාට ජ්‍යෝතිෂ්‍ය විශ්වාස කළා. ඔය හෝරාව ගැන එහෙම තරමක්‌ දැනගෙන හිටිය නිසා දිනපතා ගමන් බිමන් ගියේ තරමක්‌ නැකත් බලල." "ඉතිං මේ දවස්‌වල අපල තිබුණද?" "ඔව් එයාගෙ ලග්නෙ මීන. මේ දවස්‌වල සෙනසුරු ඒරාෂ්ඨක අපල ලබල අවුරුදු දෙකක්‌ විතර ඇති. රට යනකොට නැකැත් බලන සිරිතක්‌ තිබුණා. මම කීව නවග්‍රහ යන්තරේ දාගන්න කියලා. එතකොට කීව ඔය ගුවන් තොටුපළවල්වල පරීක්‍ෂා කරනවා. එතකොට කරදරයි කියලා. මැණික්‌ ගලක්‌ දාන්න හිතාගෙනයි හිටියෙ." වාහන ගැන මොකද කීවේ? "මේකයි. කාර් එකක්‌ ගන්න සල්ලි බැඳල තිබුණා. ඒක ගේන්න නැකතක්‌ බලන්නයි ආවේ. එතුමාට ගත වුණේ ශනි මහ දශාවෙ කුජ අන්තරේ. එතකොට ශනියි කුජයි දෙන්නම මීන ලග්නෙ අටවැන්නෙ ගමන් කරන කාලෙ. හදිසි අනතුරුවලට බොහෝම ඉඩ තිබුණා." ඉතිං... ඉතිං මම කීව වාහන පදවන එක නං හොඳ නෑ. ඔෆිස් වාහනේට ඩ්‍රැයිවර් ඉන්නවනේ. ඒක පාවිච්චි කරන්න. කාර් එකත් ඒ ඩ්‍රැයිවර්ටම කියලා ගෙන්න ගන්න කියල කිව්වා. අපලෙට කරන්න ඕන දේවලුත් කීව. අලුත් කාර් එක ගේන්න හිතාගෙන හිටියෙ ලබන සුමානෙ සඳුද."ඉතිං ඉතිං සඳුද වෙනකල් හිටියෙ නෑනේ. ජ්‍යෝතිර්වේදී මෙසේද කීවේය. තනිකරම කේන්දරේ නෙවේ. තත් කාලෙත් ඒක පෙන්නුව. එදා උදා වුණේ ධනු ලග්නෙ. ලග්නාධිපති අටේ. වාහන ගැන කියන හතරෙ කේතු. සඳු හෝරාව. සඳු කියන්නෙ මාරක ස්‌ථානයට අධිපති. ඉතිං සංඥා බොහෝම නරකයි." කෘෂිකර්මය ගැන සුවිශේෂී දැනුමකුත් තිබූ මහාචාර්ය අදිකාරම් මැතිතුමාගේ ආදාහන උත්සවය නිම වෙමින් තිබුණි. එතුමා මරණයට පත් වූ ආකාරය දුටු කෙනෙකු කියන්නේ කුමක්‌ දැයි ඇසීම කුතුහලය දනවන කරුණකි. මක්‌නිසාද යත් අනතුර සිදු වී ඇත්තේ කන්දක පල්ලමක නොව විශ්වවිද්‍යාල භූමියේදීම බැවිනි. අනතුර හරියටම දුටු බව කියන සෝමසිරි නම් ආරක්‍ෂක නියාමකවරයා එය විස්‌තර කළේ මෙසේය.

"අයියෝ අපට හරි කනගාටුයි. සර් අපිට තාත්ත කෙනෙක්‌ වගේ. ඕන කෙනෙකුට පිහිට වෙනවා. ඒක මතක්‌ වෙනකොටත් මගෙ ඇඟ කිලිපොලාගෙන යනවා." මොකද්ද වුණේ..? මතකද? ඒක කවදාවත් අමතක වෙන්නෙ නෑ. සර් සමහර දවස්‌වලට ඩ්‍රැයිවර් එක්‌ක එනව. එදා කාර් එක එලවගෙන ආවෙ සර්මයි. අපිටත් "ආයුබෝවන්" කියාගෙන සර් ගේට්‌ටුවෙන් ගියා. සර් ගුඩ් මෝනිං කියන්නෙ නෑ. ආයුබෝවන් කියන්නේ ඊට වඩා බොහෝම උසස්‌ ආශිර්වාදාත්මක ශුභ පැතුමක්‌ කියල කීප විටක්‌ම කියල තියෙනවා."

"ඉතිං ඉතිං"

"කාර් එක නතර කරන්නේ අපිට පේන්න තියෙන කාර් පාක්‌ එකේ. සර් ගිහිං කාර් එක නතර කරල පිටිපස්‌සට ඇවිත් ඩිකිය ඇරල බෑග් එක ගත්ත."

"ඉතිං"

"ඉතිං සර් අඩි දහයක්‌වත් ගියේ නෑ. කාර් එක බ්‍රේක්‌ බුරුල් වෙලා වගේ පස්‌සට ආවා. ඉතිං කියල වැඩක්‌ නෑ. සර් අහකට පනිනව වෙනුවට පුදුම වැඩක්‌ කළේ. හෙමිහිට පස්‌සට එන කාර් එකට අත තියල තල්ලු කරල නවත්ත ගන්න හැදුව. එක අතක බෑග් එක. තනි අතින් කාර් එක නවත්තන්න හැදුවෙ." කතා කරගත නොහැකිව ආරක්‍ෂක නිලධාරියා තත්පර කීපයක්‌ සිටියේය. අයියෝ සර් කාර් එකටයි බිත්තියටයි හිරවුණා. එතනම ඉවරයි. උකුල් ඇටය යටිබඩ දිහා සම්පූර්ණයෙන් තැලිල කුඩුවෙලා කියල ඩොක්‌ඩර් කියල තියෙනවා.

රටක්‌ වටිනා මහාචාර්යවරයකු වූ අදිකාරම් මැතිතුමාගේ මරණය ගැන සම්පූර්ණ සිද්ධිය දැන් ඔබට වැටහෙනවා ඇත. මෙම කතාවේ පසුවදන මෙසේය. කුජාර්ක මන්දෙ ස්‌වපි කශ්චිදෙකො - යදාෂට මද්වා දශලග්නයාතඃ තදා විශේෂද ශුභං ප්‍රද්‍යා - දුපේන්ද්‍ර වජ්‍ර පුත්මෙපි යස්‌මින් "යමෙක්‌ සක්‌ දෙවිඳු මෙන් බලවත් වූ නමුත් යම් කලෙක ඔහුගේ ලග්නයට හෝ අටවැන්නට හෝ දොළහට කුජ, රවි, ශනි යන ග්‍රහයෝ පැමිණියේ නම් එවිට අතිශයින්ම අශුභ විපාක ගෙන දෙන්නේය. එසේ එකවර සිදුවීම මාරක හෝ සමාන විපතක්‌ සිදුවිය හැකිය." නම් ගම් මනඃකල්පිතය

ජ්‍යෝතීර්වේදී - කෑගල්ලේ සුනිල් කුමාර ගම්ලත්
උපුටා ගැනීම දිවයින