🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

මගේ හීනය අතාරින්න බැරි නිසා අපේ ප්‍රේමයට සමු දුන්නා


– ඕනෑම නිර්මාණයක ප්‍රධානියා අධ්‍යක්ෂවරයා වුණාට වැඩේට මූලික වෙන්නෙ සහාය අධ්‍යක්ෂ

– ෆීල්ඩ් එකේ හැමෝම වගේ මට කියන්නෙ කොලු භාගෙ කියලා

රංගනය, නර්තනය, නිවේදනය ආදී සකල කලා විෂයන්හි දක්ෂතා දක්වන්නන් ගැන නිරතුරුවම කතාබහට ලක්වේ. ඒ ඔවුන් නිතර තිරය ඉදිරියේ දක්නට ලැබෙන නිසාය. ඔවුන් තිරය මතට ගෙනෙන්නට වෙහෙසෙන තවත් පිරිසක් තිරය පිටුපස සිට විශාල මෙහෙයක් සිදු කරන බව බොහෝ දෙනා නොදන්නා කරුණකි. කලා අඹරේ දිලෙන තරුවලට දීප්තිය දෙන්නට වෙහෙසෙන එවන් චරිත ද අමතක නොකළ යුතුය. අද අපේ කතාබහට ලක්වන්නේ ද එවන් චරිතයකි. චාමිනී ජනිතා මුණසිංහ නම් මේ හුරුබුහුටි තරුණිය තිරය පිටුපස සිට සහාය අධ්‍යක්ෂ භූමිකාවෙන් ලද අත්දැකීම් අප හා බෙදාගත්තේ මෙසේය.

අධ්‍යක්ෂණය පැත්තෙන් නිර්මාණවලට දායක වන කෙනෙක් විදිහට ඔබට පැවරෙන වගකීම ගැන සඳහන් කළොත්?

මම සම්බන්ධ වෙන්නේ සහාය අධ්‍යක්ෂණයෙන්. සාමාන්‍යයෙන් නිර්මාණයක අධ්‍යක්ෂවරයා ප්‍රධාන වුණාට වැඩේට මූලික වෙන්නෙ සහාය අධ්‍යක්ෂ. හරියට නැවක කපිතාන් වගේ ඔක්කොම හැන්ඩ්ල් වෙන්නෙ එයා අතින්. සෙට් එකේ නිශ්ශබ්දතාවය රඳව ගන්නෙත් සහාය අධ්‍යක්ෂ. රංගන ශිල්පීන්ගේ සියලු වගකීම් වගේම අධ්‍යක්ෂවරයා යන එන වෙලාව වගේම කරන කියන දේ පවා තීරණය කරන්නේ සහාය අධ්‍යක්ෂ. ඒ නිසා හදිසියේම නිර්මාණයකින් ප්‍රධාන චරිතයක් අයින් වෙලා යද්දි ගොඩක්ම අපහසුතාවට පත්වෙන්නෙ සහාය අධ්‍යක්ෂ. අලුත් චරිතයක් ගනිද්දි රයිටර්ගේ මතයට අනුව තමයි සුදුසුම කෙනා තෝරගන්නේ. නිර්මාණයක් සාර්ථකව ලස්සනට අවසන් කරන්න අධ්‍යක්ෂ, සහාය අධ්‍යක්ෂ සහ තිර පිටපත් රචක කියන තුන්දෙනාගෙ බැඳීම හරිම වැදගත්.‍

ගැහැනු ළමයෙක් විදිහට ඔබ අධ්‍යක්ෂණය පැත්තට යොමු වෙන්නෙ කොහොමද?

මං මේ ෆීල්ඩ් එකට එන්නේ අහම්බෙන්. මං තාමත් කැලණිය විශ්වවිද්‍යාලයේ ෆිල්ම් ඇන්ඩ් ටෙලිවිෂන් අධ්‍යයනය කරන තෙවැනි වසරේ සිසුවියක්. නාඩගම්කාරයෝ ටෙලි නාට්‍ය ගොඩක්ම ජනප්‍රිය වුණු කාලෙ පත්තරේක දැකපු ආර්ටිකල් එකක තිබුණු ප්‍රොඩියුසර් කෙනෙක්ගෙ නම්බර් එකකට මං මැසේජ් එකක් දැම්මා මාත් වැඩ කරන්න ආසයි මාවත් සම්බන්ධ කරගන්න කියලා. ඒක සිවගුරුනාදන් සර්ගෙම වෙනත් නිර්මාණයක ප්‍රොඩියුසර් කෙනෙක්ගෙ නම්බර් එකක්. අපේ අලුත් එකක් පටන් ගන්නවා. ඊළඟ ෂෙඩියුල් එකේ ඉඳන් ඔයා එන්න කියලා ඔහු මට එවල තිබුණා. ඒ විදිහට තමයි මං ‘පාර වසා ඇත‘ ටෙලි නිර්මාණයේ තෙවැනි සහාය අධ්‍යක්ෂ විදිහට සම්බන්ධ වෙන්නේ. එතැනදී මට උදවු කළ ශ්‍රී ලාල් වික්‍රමගේ සර් මතක් කරන්නම ඕන. ඒ වැඩේ දැකලා සිවා සර්ම මාව එයාගෙ පාර දිගේ ටෙලි නිර්මාණයේ දෙවැනි සහාය අධ්‍යක්ෂ විදිහට සම්බන්ධ කරගත්තා. ඒ ආපු ගමන මේ වෙද්දි සැලෙනා නුවන්, ලොක්කි 2, හියුමන් එරර්ස්, 4චූන්, Pls share this, තත්පරයක් දෙන්න, හේල්‍යන්, ප්‍රාර්ථනා, බයිස්කෝප්, මිරර්, හේල්‍යන් 2 ඇතුළු නිර්මාණ විස්සකට ආසන්න සංඛ්‍යාවකට සම්බන්ධ වෙලා තියෙනවා.

ඔබේ හැකියාව තවමත් පුංචි තිරයට විතරක් සීමා වෙලාද?

මේ වෙද්දි මං හර්ෂ උඩකන්දගේ රෝස ආදරේ සහ සුවිනීතා වීරසිංහගේ සාධී චිත්‍රපටය හරහා සිනමාව පැත්තටත් සම්බන්ධ වෙලා තියෙනවා. හර්ෂ උඩකන්ද වගේම සුපුන් රත්නායක කියන්නෙ මගේ දක්ෂතා හොඳින් තේරුම් අරන් මාව ඉදිරියට තල්ලු කළ අධ්‍යක්ෂවරු. හර්ෂ කියන්නෙ තනියම සෙට් එක බාරදීල යන්න පුළුවන් තරමට මාව විශ්වාස කරපු අධ්‍යක්ෂවරයෙක්. ෂෝට් ෆිල්ම් කිහිපයක් කරල තියෙනවා.

මේ වගේ පැත්තක් තෝරගනිද්දි ගෙදරින් තහංචි වැටුනෙ නැද්ද?

මගේ ගම කැකිරාව. අධ්‍යාපනය හැදෑරුවේ කැකිරාව බස්තියන් සිල්වා විද්‍යාලයෙන් සහ නිවන්තක චේතිය විද්‍යාලයෙන්. සනත් චන්ද්‍රසේකර , සුභාෂිණී හේරත්, දිනූපා, කුසුම්, විපුල, උපුල් යන ගුරුවරුන් මට ලොකු සහායක් දුන්නා. අරවින්ද රාජරත්න සර්ව විශේෂයෙන්ම සිහිපත් කළ යුතුයි. මේ දක්වා එන්න මට මඟපෙන්නුවේ ඔහු. මේ ෆීල්ඩ් එකට එනවට අපේ ගෙදරින් පොඩ්ඩක්වත් කැමැති වුණේ නෑ. ඒත් තාත්තා මට හොඳට ඉගැන්නුවා. මං වැඩිපුරම කැමැති වුණේ නිවේදනය පැත්තට. විශේෂයෙන්ම නිවුස් රීඩින්. කැම්පස් ආවට පස්සේ ඒක හීනයක්ම වෙලා අධ්‍යක්ෂණය පැත්තට යොමු වුණා. මගේ තනි ශක්තියෙන් ආපු ගමනක් මේක. අද වෙද්දි එක නිර්මාණයක් ඉවර වෙද්දි තව එකක් ලැබෙන තත්ත්වෙට පත්වෙලා. සිවගුරුනාදන්, තුසිත ධනංජය, අනුරාධ මංචනායක යන අධ්‍යක්ෂවරු තමයි මේ ෆීල්ඩ් එකේ මගේ මුල් ගුරුවරු වුණේ. ඊට පස්සෙ සුපුන් රත්නායක සහ හර්ෂ උඩකන්ද මගේ දක්ෂතා හඳුනගෙන මට ඉදිරියට එන්න උදවු කළා. මට මේ තැනට එන්න ඒක ලොකු හයියක් වුණා. ආපහු හැරිල බලද්දි මට මං ගැනම සතුටුයි.

අධ්‍යක්ෂණය කියන්නෙ ගෑනු ළමයෙකුට ටිකක් බැරෑරුම් කටයුත්තක්. ඔබත් අපහසුතාවට පත්වුණු තැන් ඇති?

පළමුවෙනිම දවසෙ මං සෙට් එකට ගියේ කිසිම දෙයක් නොදැන. එතැන දෙවැනි සහාය අධ්‍යක්ෂවරයා විදිහට හිටපු ළහිරු දිහා බලාගෙන එදා මං ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒ වගේම බිමල් ජයකොඩි, ජයනි සේනානායක වගේ ප්‍රවීණයන්ගෙන් ලැබුණු ආදරණීය සහයෝගය නොවෙන්න එදාම මට මේක එපා වෙන්න ඉඩ තිබුණා. දෙවැනි දවසෙ ඉඳන් මං ගියේ දෙයක් දැනගෙන. සෙට් එකේදී මං හැසිරෙන්නෙ තනිකරම කොල්ලෙක් වගේ. මං පුංචි නිසා වාහනවල ෂූට්වලදි හැම අධ්‍යක්ෂවරයෙක්ම යවන්නෙ මාව. පොලිස් ජීප් එකක ෂූට් එකක් තියෙනවා දොරේ දෙපැත්තට කකුල් දාගෙන මං යන්නෙ එළියෙ. ෂූට් එක ඉවර වෙද්දි කකුල් සීරිලා. ෆීල්ඩ් එකේ හැමෝම වගේ මට කියන්නෙ කොලු භාගෙ කියලා. මේ වෙද්දි මගේ වයසට ඉන්න ළාබාලතම දෙවැනි සහාය අධ්‍යක්ෂ මං. ඉදිරියේදී අධ්‍යක්ෂ භූමිකාවෙන් අනිවාර්යයෙන්ම හමුවේවි. ඊට අමතරව ඉන්දීය සිනමාව පැත්තෙන් ඩිග්‍රියක් කරන්නත් ලොකු ආසාවක් තියෙනවා.

ක්ෂේත්‍රයේ ගොඩක් දෙනා එක්ක ගැටෙන චාමිනීගෙ හිත ගැටුන විශේෂ කෙනෙක් නැති වෙන්න බෑ?

මට විශේෂ වුණු කෙනෙක් හිටියා. ඒත් මීට මාස පහකට විතර කලින් අපි අපේ ප්‍රේමයට සමු දුන්නා. ඔහුට ඕන වුණේ මං මේ ෆීල්ඩ් එකෙන් අයින් කරල ඔහු ළඟට ගන්න. ඒත් මේ මගේ එකම හීනය. මට මගේ හීනය අතාරින්න බැරි වුණා. එයා එයාගෙ තීරණය ගත්තා.

උපුටා ගැනීම සිළුමිණ